Saturday, May 9, 2020

ආදරනීය සකුන්තලා


එක වරම සිත දිවුව පුංචි පාසල වෙතට
මං හිටිය පන්තියේ පුංචි දරුවෙක් වෙතට
හතරවන පංතියෙදි එක් දිනක් එක් වරම
පුංචි කෙල්ලෙක් ආව මට මතක් වෙන තාම

කිලුටු නිල ඇදුම මත දුබුරු පැල්ලම් ගොඩයි
කිසිදාක මැදි බවක් නම් පෙනුනෙ නැහැ ඒක
නොපීරූ හිස කෙස්ද පයේ ලා සෙරෙප්පුද
අහින්සක ඇස් වලින් බැලුව මතකයි තාම

එකම පොත විතරමයි ලිව්ව එහි හැමදේම
පුංචි පැන්සල් කොටය තිබුනෙ සන්තකේටම
දහවලට විවේකෙට නැහැ ඇයට වගක්වත්
කිලිටි බෝතලෙන් බොන උගුරු දෙක විතරමයි

ගුරුතුමා කිවු නිසා දුන් කෑම කොටසකින්
කෑම මේසය පිරුන බැලුවෙ හරි සතුටකින්
කිසිම පාඩම් වැඩක් නෑ කලේ හැමදාම
අනේ ඒ හිත අතුලෙ දුකම වෙන්නැති ඇත්තෙ

කෑම කන්නම තමයි මෙයා නම් මේ එන්නෙ
ලමයින්ගෙ කවටකම් වල මාත් ඉන්න ඇති
අද දුකයි සිහිවෙද්දි මතකයට ඒ කරපු
එදා එන්නැතුව අති පොඩිකමට අපි ඉදපු

දවසටම ලැබෙන මුලු අහර ඒ වෙන්න ඇති
උදේටත් නැතුව ඇති මවත් බඩගින්නෙ ඇති
ගෙදර අම්මා නැතිද තාත්තෙක් ඉන්නවද
මතක මට ගුරුවරුත් බැනවැදුන හොදටෝම

පිස්සියෙක් ගැන කියන විට බැලුවෙ ඇය දිහා
වගක්වත් නෑ ඈට තරහකුත් නැතුව ඇති
අහල අහලම ඒක ගානකුත් නැතුව ඇති
තැලෙන්නට තව මුකුත් ඒ හිතේ නැතුව ඇති

තිස් වසක් වෙලා මට සිහි උනේ ඇයි මන්ද
සකුන්තලා නම ඇගේ දැන් මොනා කරනවද
මවක් වී දැන් ඇයත් සැපෙන් කල් ගෙවනවද
අනේ නැත්නම් එදා වගෙම දුක් විදිනවද

නැවත ඇය දැකගන්න හරිම ආසයි හිතට
කතා නොකලත් එදා ටිකක් දොඩමලු වෙන්න
කාටවත් කිව්වෙ නැති කතාවට කන්දෙන්න
ඉන්නවා නම් එන්න එකට අපි බත් කන්න

































































No comments:

Post a Comment